කාන්තාවන්ගේ අස්වාභාවික මරණවලට හේතු හා සමීප සහකරුගේ ප්‍ර‍චණ්ඩත්වය

by Ajith
06-Mar-2018

“මෙහි පාවිච්චි කර තිබෙන යෙදුම ‘අස්වාභාවික මරණ' වුණාට, කෙළින් ම ප්‍ර‍චණ්ඩත්වය නිසා සිදු වන මරණ ලෙස හඳුන්වන්නැයි මා ඉල්ලා සිටිනවා. අප මේ ප්‍ර‍ශ්නයෙහි භයානකකම අඩුවෙන් දක්වන්නට ඕනැ නැහැ," යි ගෞරව සහිත විශ්‍රාමික මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර පැවසුවේ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ අස්වාභාවික මරණ (වැළැක්වීම හා යුක්තිය ඉටු කිරීම)’ සම්බන්ධ ප්‍ර‍තිපත්ති සාරාංශය නිකුත් කිරීමෙන් පසුව පැවති සංවාද සභාව අමතමිනි.  2018 මාර්තා 5දා කොළඹදී පැවති මෙම සාකච්ඡාවේදී සමීපතම සහකරුවාගේ ප්‍ර‍චණ්ඩත්වය හේතුවෙන් සිදු වන කාන්තා මිනීමැරුම් කෙරෙහි අවධානය යොමු කරන ලදී. 

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ කැලණිය විශ්වවිද්‍යාලය එක්ව කරන ලද මෙම අධ්‍යයනය මගින් ශ්‍රී ලංකාවේ පළමු වරට පළාත් පහක කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ අස්වාභාවික මරණ සම්බන්ධ සාධක වෙත අවධානය යොමු කරන ලදී. අස්වාභාවික මරණයක් යනු තුවාල, කම්පනය හෝ වස විස වැනි හේතුවක ප්‍ර‍තිඵලයක් ලෙස සිදු වන මරණයකි. එය සිදු වන ආකාරය මිනීමැරුමක්, සියදිවි නසාගැනීමක්, අනතුරක් හෝ ඇතැම් විට නිගමනය නො කරන ලද ආකාරයක් ද විය හැකි ය.

ශ්‍රී ලංකාවේ සිදු වන කාන්තා මිනීමැරුම්වලින් තුනෙන් එකක් සමීප සහකරුගේ ප්‍ර‍චණ්ඩත්වය හා සම්බන්ධ  බව ද, එවැනි සිදුවීම්වලින් 69%ක් ම නිසි පරිදි වාර්තා වන්නේ නැති බව ද මෙම අධ්‍යයනයෙන් සොයාගෙන තිබේ. අධ්‍යයනය විසින් හෙළිදරව් කරන ලද තවත් කාරණයක් වන්නේ ශ්‍රී ලංකාවේ රෝහල්ගත කිරීම්වලට ප්‍ර‍ධාන ම හේතුව ශාරීරික හිංසනයන් බවයි.

අධ්‍යයනය කරන ලද කාන්තා මිනීමැරුම් 243කින් 128ක ම අපරාධකරුවා නීත්‍යානුකූල සැමියා ය. ත්‍රෛවාර්ෂික අධ්‍යයනය අවසානයේ සොයා ගත් කරුණක් වන්නේ, අධිකරණ ක්‍රියාවලිය මහාධිකරණය දක්වා ඉදිරියට ගියේ මිනීමැරුම්වලින් 30%ක් සම්බන්ධයෙන් පමණක් බවයි. ඒ සඳහා ගත විය යුතු සාමාන්‍ය කාලය නඩුව ගොනු කළ දින සිට අවුරුදු තුනකි.

මෙම අවස්ථාවේ සභාව අමතමින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකේන් මහත්මිය මෙසේ පැවසුවා ය: “ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වය යනු කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ පුද්ගල හිමිකම් උල්ලංඝනයක් පමණක් නොවෙයි. වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක නො වීම හා ඔවුන්ගේ ක්‍රියා නිසා ඇති වන භීතිය සමස්ත සමාජයට ම බලපානවා. රජය, කාන්තා සංවිධාන, එක්සත් ජාතීන් හා වෙනත් හවුල්කරුවන් විසින් කරන ලද කාර්යභාරය කෙතරම් වුවත්, ප්‍ර‍චණ්ඩත්වයේ වින්දිතයන්ට රැකවරණය, සෞඛ්‍යාරක්ෂාව සහ යුක්තිය ලබා ගත හැකි සේවාවන් පිළිබඳ ඔවුන්ගේ දැනුවත්භාවය බොහෝ දුරට අඩුයි.”

කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපති මහාචාර්ය නිලන්ති ද සිල්වා මෙසේ පැවසුවා ය: “මෙම අධ්‍යයනයේ සලකා බලන ලද මරණ සංඛ්‍යාව එතරම් විශාල නො වෙන්නට පුළුවන්. ඒත් මේ සොයා ගැනීම් අප සමාජයේ ඇති කිරීමට බලාපොරොත්තු වන පිරිමින්ට හා ගැහැණුන්ට සමානව සැලකීම සඳහා වන වෙනස්කම්වලට ජවයක් ලබා දෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.” 

සාකච්ඡා සභාව අමතමින් අධ්‍යයනයේ ප්‍ර‍ධාන විමර්ශක සහ කැලණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්ය අනුරුද්ධි එදිරිසිංහ මෙසේ පැවසුවා ය: “ශ්‍රී ලංකාවේ අස්වාභාවික කාන්තා මරණ අධ්‍යයනය කිරීම වැදගත් වන්නේ මෙම මරණ සිදු වන්නේ ඇයි ද, කෙසේ ද යන දේ සොයා දැන ගැනීමට පමණක් නොවෙයි. එමගින් යුක්තිය තහවුරු කරන්නටත්, වැරදිකරුවන් වගවිය යුතු තත්වයට පත් කරන්නටත් පුළුවන්.”

කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍ර‍මසිංහ විසින් මුලසුන හොබවන ලද මෙම සාකච්ඡා සභාවට කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුභංගි හේරත් ද එක් වූවා ය. 

‘ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ අස්වාභාවික මරණ සම්බන්ධ මාධ්‍ය වාර්තාකරණය’ මැයෙන් වන ප්‍ර‍තිපත්ති සාරාංශය ද මෙදින නිකුත් කරනු ලැබිණි.

(කවරයේ ඡායාරූපයේ වමේ සිට මහාචාර්ය අනුරුද්ධි එදිරිසිංහ, මහාචාර්ය මෛත්‍රී වික්‍ර‍මසිංහ, ගෞරව සහිතව විශ්‍රාමික මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර සාකච්ඡා සභාවේ.) 

තුන් අවුරුදු අධ්‍යයනය සිදු කළ පර්යේෂක කණ්ඩායම එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකේන් මහත්මිය සහ අනෙකුත් ආරාධිත අමුත්තන් සමග

Views:
127