ඒදඬු මංකඩ පාලම් තැනූ යොවුන් දිරියක කතාව

by Ajith
18-Jul-2017

පාලමක් කියන්නෙ සාමාන්‍යයෙන් යා කිරීම හා සම්බන්ධ සංකේතයක්.  ඈත් වී සිටි අය අතර සම්බන්ධකම් ශක්තිමත් වීම විතරක් නෙමෙයි නවීන ලෝකයට පිවිසීමේ අවස්ථාවත් පාලමක් තුළින් සංකේතවත් වෙනවා.

“නෙළුවේ සිට අපේ ගමට එන්නට ළඟම පාර බෙල්ලන ගඟ හරහා එන එකයි. ඒත්, ඒකට තිබුණෙ ඒදණ්ඩක්.  මේ බෙල්ලන ගඟ දිගට ඒදඬු විස්සක් විතර කාලෙන් කාලෙට දාන්න ඇති.  මොනම ඒදණ්ඩක්වත් වැඩි කලක් තිබ්බෙ නැහැ. වැහි කාලෙට අප ගංවතුරට දින ගණන් කොටු වෙනවා. හප්පිටියේ පවුල් 350ක මිනිසුන්ට හදිසියකට ලෙඩෙකුවත් රෝහලකට අරගෙන යන්නට හැකියාවක් තිබුණෙ නැහැ.“

එහෙම කිව්වෙ, නෙළුව හප්පිටිය ගමේ කාන්තාවක්. අප ඇගේ ගමට ගිය ඒ ගිනි මද්දහනේ ඇය කට පුරා සිනා සලමින් අලුත හදපු පාලම දිගේ ඇවිදගෙන අප ඉදිරියට ආවෙ උස තඹලේරුවලට පුරවපු සීතල කුරුම්බා වතුර සහිත බන්දේසියකුත් දෑතින් අරගෙනයි.

ජාතික තරුණ සේවා සභාවේ සහ ස්වාධීන රූපවාහිනියේ අනුග්‍රහයෙන් පැවැත්වුණු ‘යූත් විත් ටැලන්ට්‘ තරගයේදී ජයග්‍රහණය කරමින් රුපියල් කෝටියක මුදලක් ගමට ගෙන ආ නෙළුව, හප්පිටිය රිදීතරු පාලම ප්‍රජා ව්‍යාපෘතිය ගැන මේ වන විට ඕනෑ තරම් මාධ්‍යවලින් ලියැවී තිබෙනවා. අප එහි ගියේ ඒ කතාව පිටුපස තිබුණු වාර්තා නො වුණ කතාව සොයන්නටයි.

තරුණයන් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 2250 යෝජනාව අනුව, සෑම මට්ටමකම තීරණ ගැනීමේ ක‍්‍රියාවලියේදී යෞවන නියෝජනය වැඩි කරන්නැයි ලෝකයේ රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටිනවා.  (එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 2250 යෝජනාවේ සම්පූර්ණ පිටපත මෙතැනින් කියවන්න)

“ශ්‍රී ලංකාවේ තරුණ ජනයාගෙන් 71.5%ක් ම දේශපාලනිකව අක්‍රිය ය. කිසියම් දේශපාලන කටයුත්තක යෙදී සිටින්නේ 1.9%ක් පමණි. වෘත්තීය සමිති හා සම්බන්ධ 1.3%ක් පමණි,” යි එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් 2015 වසරේ පළ කරන ලද 20.4 Million නම් ග්‍ර‍න්ථයෙහි දැක්වේ. එමගින් තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ තරුණයන්ගේ සහභාගිත්වයෙහි පවත්නා යථාර්ථය සංකේතවත් වේ.

වයස අවුරුදු 20 අවට හිරිමල් යොවුන් වියේ කෙල්ලන් තිදෙනෙකුගේ මුලපිරුමෙන්, ජාතික තරුණ සේවා සභාවෙන් ලැබුණු රු. 75,000ක් වැනි මුදලකින් පටන් අරගෙන රු. මිලියන තුනකටත් වඩා වටිනා ව්‍යාපෘතියක් ලෙස ගමට පාලමක් හදන්නට පුළුවන් වුණ කතාවේ වැදගත්කම අප දකින්නේ මෙම සංදර්භය තුළයි.

හැම හොඳ දෙයක් ම කාගේ හරි හොඳ මග පෙන්වීමක්. නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ සේවා නිලධාරි ඩබ්ලිව්. සී. දීපලාල් මෙම ව්‍යාපෘතිය පසුපස සිටි මාර්ගෝපදේශකවරයායි.

“තරුණ සේවා සභාව විසින් දිවයින පුරා තෝරා ගන්නා ලද ව්‍යාපෘති 1500ක් වෙනුවෙන්  යෞවන සමාජවලට 2016 අගෝස්තු මාසයේදී රු. 75,000 බැගින් ලබා දුන්නා. ශ්‍රම හා සෙසු දායකත්වයන් ප්‍රජාවෙන් ලබා ගනිමින් ඉතිරි කාර්යයන් සපුරා ගැනීමේ දක්ෂතාව තමයි මේ තරගයේදී පරීක්ෂා කළේ,” දීපලාල් පෙන්වා දුන්නා.

හප්පිටිය ගමේ ජනතාව රිදීතරු යෞවන සමාජයේ මෙම ව්‍යාපෘතියට උර දුන්නේ දැවැන්ත වගකීමකින්.  ගම්වැසියන් අපට කීවේ ගමේ හැම ගෙදරකින් ම මේ ව්‍යාපෘතියට මුදලින් හා ශ්‍රමයෙන් දායක වූ බවයි. ගමෙන් පිට ඈත ප්‍රදේශවල පදිංචි වුණ ඔවුන්ගේ නෑයින් පවා මුදලින් ආධාර කළ බව අපට කිව්වේ පාලම ළඟ ගෙදර කාන්තාවයි.  ගමේ මිනිසුන්ගේ මේ දැවෙන අවශ්‍යතාව රිදීතරු යෞවන සමාජයට මේ ව්‍යාපෘතිය ජයග්‍රාහී ලෙස මාස තුනකින් සම්පූර්ණ කරන්න ආධාරක වුණා. ඒක අවශ්‍ය ම තැනක සිදු වන අවශ්‍ය ම සංවර්ධනයක්.

හැබැයි, අප එහි දකින වඩාත් වැදගත් කාරණය වන්නේ මේ ව්‍යාපෘතියට සාර්ථක ලෙස නායකත්වය දෙන්නට රිදීතරු යෞවන සමාජයේ සභාපති එස්. ඩී. එල්. දිල්කි මධුෂානි, ලේකම් සඳනි ළහිරුකා, භාණ්ඩාගාරික බී. එල්. ජේ. නිලූ කියන යෞවනියන් තිදෙනාට හැකි වීමයි. ගම්වැසියන්ගේ සහයෝගයත් ගොනු කරගෙන, දේශපාලනඥයන්ගෙන්, ව්‍යාපාරිකයන්ගෙන්, සුබ පතන්නන්ගෙනුත් අනුග්‍රාහකත්වය ලබා ගන්නට නොබෝදා උසස් පෙළ විභාගයට මුහුණ දුන්, ගමේ හා ගම අවට පාසල්වල ඉගෙනුම ලබන මේ තරුණියන් තිදෙනා සමත්වීම ඔවුන්ගේ පමණක් නොවෙයි ලංකාවේ ම තරුණ තරුණියන්ගේ ජයග්‍රහණයක්.

“තරුණියන් නිසා අපට මේ දේ කරන්නට බැහැ ය කියමින් අධෛර්යය කරපු අයත් හිටියා. එහෙත්, වැඩි දෙනෙක් අපව දිරි ගැන්වූවා. ඒක නිසායි අපට මේ කාර්යය මේ අන්දමින් සාර්ථකව කරන්නට පුළුවන් වුණේ,” යි අප සමග කීවේ රිදීතරු යෞවන සමාජයේ සභාපති එස්. ඩී. එල්. දිල්කි මධුෂානි.

දිල්කිගේ මව අලුත හදපු පාලම උඩදි අප සමග දුක්බර කතාවක් බෙදාහදා ගත්තා. දිල්කිට වයස අවුරුදු හයක් විතර වෙද්දි, මව දිල්කිගේ නැගනිය ප්‍රසූත කරන්නට රෝහල්ගතව සිටියදී, ඇය බලන්නට රෝහලට ගොස් එමින් සිටි දිල්කිගේ පියා ඒදණ්ඩෙන් වැටී මිය මිය ගියා. අවුරුදු 13කට පසුව, ඒ පියාගේ දියණිය ඒදණ්ඩෙන් ගඟ තරණය කළ මිනිසුන් වෙනුවෙන් පාලමක් හදන්නට මුල පිරුවා.

“අපට පුළුවන්!” ඒ තමයි දිල්කිගේ පණිවුඩය. අප කියන්නේ මේ රටේ කාන්තා පරපුර. තරුණ පරපුර

Views:
2301

2017

2 votes
මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ නායකයින් හට නිවැරදි ලිංගික අධ්‍යාපනයක්...
The problem
1. දිස්ත්‍රික්කයේ තරුණයන් වැඩියෙන්ම සම්බන්ධ වී සිටින තරුණ සේවා සභාව සමග මෙම අදහස සාකච්චා කිරීම 2. ඒ සමගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් විසිරි සිටින මෙම අදහස ගමට ගෙන යාමට හැකි තරුණ නායකයින් මෙම වැඩසටහනට සම්බන්ධ කර දෙන ලෙස ඔවුන්ට දැන්විම 3. ඒ සමගම සුදුසු ස්ථානයක් තෝරා ගැනීම (තරුණ මධ්‍යස්ථානයක්) 4. කොට්ටාශ මට්ටමින් සිටින තරුණ පිරින් කොටස් 5 කට වෙන් කිරිම 5. සිංහල මාධ්‍ය වැඩසටහන් 3ක් සහ දමිල මාධ්‍ය වැඩසටහන් 2ක් ලෙසින්. 6. අවශ්‍ය වෛදය වරුන් සහ කාර්ය මණ්ඩලය මහනුවර මහා රෝහල සමග සාකච්චා කර ලබා ගැනීම 7. මේ සදහා උපකාර ලබා ගත හැකි තවත් සංවිධාන මේ සදහා සහබාගි කරවා ගැනීම 8. අත් පත්‍රිකා,පෝස්ටර්,වීඩියෝ දර්ශන, සහ වෛදය උපදෙස් හා අනෙකුත් සියලුම දේවල් යොදාගෙන වැඩසටහන කිරීම. 9. පසුව රෝහල සමග සම්බන්ධ වී මෙම වැඩසටහනේ ප්‍රගතිය පිලිබදව දිගින් දිගටම සාකච්චා කරමින් වැඩසටහන ඉදිරියට නොකඩවා ගෙන යාම.
The solution
1. දිස්ත්‍රික්කයේ තරුණයන් වැඩියෙන්ම සම්බන්ධ වී සිටින තරුණ සේවා සභාව සමග මෙම අදහස සාකච්චා කිරීම 2. ඒ සමගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් විසිරි සිටින මෙම අදහස ගමට ගෙන යාමට හැකි තරුණ නායකයින් මෙම වැඩසටහනට සම්බන්ධ කර දෙන ලෙස ඔවුන්ට දැන්විම 3. ඒ සමගම සුදුසු ස්ථානයක් තෝරා ගැනීම (තරුණ මධ්‍යස්ථානයක්) 4. කොට්ටාශ මට්ටමින් සිටින තරුණ පිරින් කොටස් 5 කට වෙන් කිරිම 5. සිංහල මාධ්‍ය වැඩසටහන් 3ක් සහ දමිල මාධ්‍ය වැඩසටහන් 2ක් ලෙසින්. 6. අවශ්‍ය වෛදය වරුන් සහ කාර්ය මණ්ඩලය මහනුවර මහා රෝහල සමග සාකච්චා කර ලබා ගැනීම 7. මේ සදහා උපකාර ලබා ගත හැකි තවත් සංවිධාන මේ සදහා සහබාගි කරවා ගැනීම 8. අත් පත්‍රිකා,පෝස්ටර්,වීඩියෝ දර්ශන, සහ වෛදය උපදෙස් හා අනෙකුත් සියලුම දේවල් යොදාගෙන වැඩසටහන කිරීම. 9. පසුව රෝහල සමග සම්බන්ධ වී මෙම වැඩසටහනේ ප්‍රගතිය පිලිබදව දිගින් දිගටම සාකච්චා කරමින් වැඩසටහන ඉදිරියට නොකඩවා ගෙන යාම.
Budget

125000

by Sasindu Shamalka