ඉඩම් හිමිකම් සම්බන්ධ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවී වෙනස්කම් මොනවා ද?

by Ajith
30-Jul-2018

ඉඩම් / දේපල සම්බන්ධයෙන් ලිංගිකත්වය මත පදනම්ව වෙනස්කම් කිරීම් සිදු වන්නේ කෙසේ ද?

අයිති කර ගැනීමේ, උරුමයේ, පදිංචි වීමේ, මිළ දී ගැනීමේ, විකිණීමේ හෝ අයිතිය අත්හැරීමේ පදනම් හා සම්බන්ධ බොහෝ වෙනස්කම් සිදු වේ. නිදසුනක් ලෙස, කිසියම් නීතියක් විසින් කාන්තාවන්ට පියාගෙන් උරුම ලැබීම තහනම් කරන්නේ නම් හෝ කාන්තාවන් තමන්ගේ ම දේපල විකිණීම තහනම් කරන්නේ නම් හෝ උරුමය සම්බන්ධයෙන් පිරිමින්ට වැඩි අයිතියක් ලබා දෙන්නේ නම් හෝ එම නීතිය කාන්තාවන්ට වෙනස්කම් නිර්මාණය කරන්නකි. සාමාන්‍ය නීතියේ මෙන් ම විශේෂ (පුද්ගල) නීතියේ ද එවැනි වෙනස්කම් තිබේ. 

වෙනස්කම් නිර්මානය කරන නීති කිහිපයක් පහත දැක්වේ:
1935 අංක 19 ඉඩම් සංවර්ධන ආඥාපනත

  • රාජ්‍ය ඉඩම්වලට පමණක් අදාළ මෙම ආඥාපනතෙහි අරමුණ වන්නේ රාජ්‍ය ඉඩම් ක‍්‍රමානුකූලව සංවර්ධනය කිරීම හා අන්සතු කිරීමයි. 
  • ආඥාපනත යටතේ රාජ්‍ය ඉඩම් ප‍්‍රධාන වශයෙන් ම ශ‍්‍රී ලංකාවේ අඩු ආදායම් කණ්ඩායම්වලට කෘෂිකර්මාන්තය හා පදිංචි වීම සඳහා ලබා දෙනු ලැබේ. 
  • ඉඩම ලබාගත් පුද්ගලයාගේ මරණින් පසු එය වෙනත් අයෙකුට ලබා දීමෙහිදී ලිංගික පදනමින් වෙනස්කම් කරන්නා වූ විධිවිධාන ක‍්‍රියාත්මක වේ. 
  • ආඥාපනතෙහි විධිවිධාන අනුව, හිමිකාරිත්වය හුවමාරු වන පිළිවෙල මෙසේ ය: ඉඩම් බලපත් හිමියා මිය ගිය පසු කලත‍්‍රයකු ජීවතුන් අතර නැතිනම් හෝ කලත‍්‍රයාට හිමිකම ලබා නොගන්නේ නම් හෝ කලත‍්‍රයාගේ මරණයෙහිදී:
    •  මරණකරු විසින් නම් කරන ලද පසු උරුමකරුවකුට ඉඩම හිමි වේ.
    • පසු උරුමකරුවකු නම් කර නැතිනම් හෝ නම් කරන ලද පසු උරුමකරු ඉඩම ලබා නොගන්නේ නම් හෝ තුන්වන උපලේඛනයේ නීති අංක 1 ප‍්‍රකාර පසු උරුමකරුට හිමිකම ලැබේ.
    • තුන්වන උපලේඛනයේ දැක්වෙන පසු උරුම පිළිවෙල අනුව කාන්තා ඥාතීන්ට වඩා පිරිමි ඥාතීන්ට අවස්ථාව ලැබේ. පිළිවෙලින් පුතා, මුණුබුරා, පියා, සහෝදරයා, මාමා සහ බෑණා යන අය දියණිය, මිණිබිරිය, මව, සහෝදරිය, නැන්දා සහ ලේලි යන අයට වඩා ඉහළින් පසු උරුමය සම්බන්ධයෙන් පිළිගනු ලැබේ. එය ඒ අනුව වෙනස්කම් සිදු කරන පාරිහාරීය නීතියකි. 

තේසවලමෙයි නීතිය

  • තේසවලමෙයි අනුව, විවාහක තත්වය අදාළ කර නොගනිමින් කාන්තාවන්ට දේපල හිමිකම ලැබේ. 
  • එසේ වෙතත්, එමගින් ‘ස්වාමි පුරුෂයාගේ විවාහක බලය’ යන සංකල්පය හඳුනාගනු ලැබේ. තම හිමිකාරිත්වය අත්හැරීමට බිරියට ඇති අයිතිය සැමියාගේ කැමැත්ත අනිවාර්ය කිරීමෙන් සීමා කර තිබේ.

සමාජ / සංස්කෘතික වැරදි අවබෝධයන්

මේවා නීතියෙහි තිබෙන වෙනස්කම් කිරීම් ය. එයට අමතරව, කාන්තාවන්ට වෙනස්කම් සිදු කිරීමට හේතු වන සමාජ / සංස්කෘතික වැරදි සංකල්පයන් ද තිබේ. 

  • එවැනි එක් වැරදි සංකල්පයක් ‘ගෘහ මූලිකත්වය’ නම් සංකල්පය සමග සම්බන්ධ වේ. පූර්ව යටත් විජිත යුගයේදී ගෘහ මූලිකත්වය තීරණය වූයේ විවාහයේ ස්වභාවය අනුව ය. බින්න විවාහයක් නම්, සැමියා බිරිඳගේ මුල්ගෙදර පදිංචි වන අතර ගෘහ මූලිකාව වන්නේ බිරිඳ ය. දීග විවාහයේදී බිරිය ඇගේ මුල්ගෙදරින් සැමියාගේ නිවසට රැගෙන යන අතර එහිදී ගෘහ මූලිකයා ලෙස සැලකුණේ සැමියා ය. 
  • 1907 පොදු විවාහ ආඥාපනත හඳුන්වා දීමත් සමග මෙම සමස්ත සංකල්පය ම වෙනස් විය. විවාහයේ ස්වභාවය පිළිබඳ වෙනස්කම් එහිදී සැලකිල්ලට ගන්නේ නැත. වර්තමාන සංදර්භය තුළ, දීග හා බින්න විවාහයන් තවමත් පිළිගන්නා උඩරට පළාතේ හැර, ගෘහ මූලික සංකල්පයට නීතිමය පදනමක් නැත. එය පදනම් වන්නේ පීතෘමූලික සංකල්ප හා බටහිර සංකල්ප මත ය. එහෙත්, බටහිර ද මේ වන විට එය අත්හැර තිබේ. 
  • එයට නීතිමය පදනමක් නැතිමුත්, එය විසින් කාන්තාවට විවිධ පැතිවලින් වෙනස්කම් සිදු කරයි. එවැනි එක් ආකාරයක් සුනාමි හා පශ්චාත් යුද කාලීන නිවාස / ඉඩම් ලබා දීම් වැනි රාජ්‍ය සුබසාධන වැඩසටහන්වලදී දක්නට ලැබිණි. 

ඉඩම් / දේපල / නිවාස හා සම්බන්ධ වෙනත් අදාළ නීති
x    ගෙවල් කුලී පනත, 1972 අංක 7
x    කුලී නිවැසියන් ආරක්ෂා කිරීමේ (විශේෂ විධිවිධාන පනත*, 1970 අංක 28
x    නිවාස දේපල සීමා නීතිය, 1973 අංක 1
x    නාගරික සංවර්ධන අධිකාරි පනත, 1979 අංක 70
x    නගර සභා ආඥාපනත, 1939 අංක 61
x    ජාතික නිවාස සංවර්ධන අධිකාරි පනත, 1979 අංක 17
x    ප‍්‍රාදේශීය සභා පනත, 1987 අංක 15
x    ජාතික නිවාස පනත, 1954 අංක 37
x    ඉඩම් පවරාගැනීමේ පනත, 1950 අංක 9
x    කාලාවරෝධ පනත, 1871 අංක 22
x    ප‍්‍රාථමික අධිකරණ පටිපාටි පනත, 1979 අංක 44 (66 කොටස*
x    ඉඩම් සංශෝධන පනත, 1972 අංක 1
x    ඉඩම් පිරිනැමීමේ (විශේෂ විධිවිධාන* පනත, 1979 අංක 43
x    ඉඩම් නැවත පවරාගැනීමේ ආඥාපනත, 1887 අංක 4
x    රාජ්‍ය ඉඩම් (හිමිකාරිත්ව ප‍්‍රතිසාධන* පනත, 1979 අංක 7

දේපල යනු අතීතයේ සිට ම බලයේ හා ශක්තියේ වැදගත් සාධකයකි. එසේම, එය හැම විට ම මර්දනයේ මෙවලමක් ද විය. ඇතැම් නීති විසින් මෙම කරුණ ප‍්‍රදර්ශනය කරන අතර, ශ‍්‍රී ලංකාවේ ද උදාහරණ දුර්ලභ නැත. ගෘහ මූලික සංකල්පය සහ පිරිමි සාමාජිකයන් ගෘහ මූලිකයන් ලෙස පිළිගන්නා සම්ප‍්‍රදාය විසින් බලය හා මර්දනය වැරගන්වනු ලැබේ.  දේපලය යනු ශක්තිය ප‍්‍රදර්ශනය කරන මර්දනයේ මෙවලමක් වන්නා සේ ම, එය බලසතුකරණයේ අවියෝජනීය මාධ්‍යයක් ද වේ. එබැවින්, කාන්තාවන් ආර්ථික හා සමාජමය වශයෙන් බලසතු කිරීමටත්, ආරක්ෂා කිරීමටත් දේපල වැදගත් වේ.

(එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ ප්‍ර‍කාශනයක් වන Women's Rights Are Human Rights ඇසුරෙනි. එම කෘතිය මෙතනින් බාගත කර ගන්නට පුළුවන)
 (Cover Photo by Nayana Sanjeewa) 

Views:
141