ඇපල් ද ඇන්ඩ්‍රොයිඩ් ද? විවෘත කේත මෘදුකාංග විසඳුම් සොයා යාම

by Ajith
01-Aug-2017

මෘදුකාංගවල අධික මිළ ඇත්තෙන් ම සමාජ ප්‍රගමනයට බාධාකාරීයි. උදාහරණයක් විදියට ලංකාවේ පරිගණකවල 99%ක් විතර ම භාවිතා වන්නේ සොරකම් කරන ලද මෘදුකාංග. ඒවායේ විවිධ ගැටලු තිබෙනවා. එහෙම වෙන්නට එක් හේතුවක් තමයි මෘදුකාංගවල අධික මිළ. 

මෘදුකාංගවල අධික මිළ හේතුවෙන් පරිගණක සම්බන්ධ පාඨමාලාත් මිළෙන් අධිකයි. ඒ නිසා සමාජය පරිගණක දැනුමෙන් බලසතු වීමටත් එය බලපානවා. 

මෘදුකාංග මිළකරණය සිදු කරන විදිය ලංකාව වැනි සංවර්ධනය වෙමින් තිබෙන රටවල සාමාන්‍ය ජනයාට කිසි සේත් ම ඔරොත්තු දෙන්නේ නැහැ. උදාහරණයක් විදියට ඇඩෝබි සමාගමේ මෘදුකාංග මිළ දී ගන්නට ලංකාවේ සාමාන්‍ය ග්‍රැෆික් නිර්මානකරුවන්ට හැකියාවක් නැහැ. හේතුව එහි තිබෙන්නේ එක් වරක් ගෙවිය යුතු මිළක් පවා නො වීමයි. ඒ වගේ ම, ඔටෝඩෙක්ස් මායා වැනි මෘදුකාංගවලට අවශ්‍ය අමතර ප්ලගින් එහෙම මිළෙන් අධිකයි. ඒවා වෙනුවෙන් කළ යුතු වියදම්වල සීමාවක් නැහැ. 

ලංකාව වගේ රටවල පරිගණක ආශ්‍රිත දැනුම හා නිර්මානශීලිත්වය සීමා වන්නට මෙම තත්වය හේතු වී තිබෙනවා. හැබැයි ජාත්‍යන්තර මට්ටමේ මෘදුකාංග සංවර්ධන සමාගමුත් ලංකාවේ තිබෙන බවත් අප අමතක නො කළ යුතුයි.  

මෘදුකාංග සමාගම් බුද්ධිමය දේපළ අයිතියට මුවා වී ලෝක ජනතාව සූරාකෑම ද ප්‍රාග්ධනය සමුච්චනය කිරීමේ නව ලිබරල් ව්‍යාපෘතියේම කොටසක් බව කියමින් ඕපන් සෝස් හෙවත් විවෘත කේත මෘදුකාංග සංවර්ධනයට සමාජ ව්‍යාපාර මැදිහත් විය යුතු බව මාධ්‍ය හා සමාජ ක්‍රියාකාරික පිලිප් ශාන්ත යෝජනාවක් කර තිබුණා.  

විවෘත කේත මෘදුකාංග සංවර්ධනය කිරීම කියන්නෙ ඇත්තට ම ඉතා ඉදිරිගාමී දැක්මක් තිබෙන මිනිසුන් විසින් ස්වේච්ඡාවෙන් කරන ලද විප්ලවීය කාර්යයන් සම්භාරයක ප්‍ර‍තිඵලයක්. හැබැයි, විවෘත කේත මෘදුකාංග තවමත් පසුගාමීයි. ඒවායේ තිබෙන ගැටලු හඳුනාගෙන පිළියම් යෙදීමේ ක්‍රියාවලිය ඉතා මන්දගාමීයි. නැතිනම් අක්‍රියයි. 

විවෘත කේත මෘදුකාංග ඉදිරියට නො යන්නට තවත් මූලික හේතුවක් තමයි, ඕපන් සෝස් මෘදුකාංග භාවිතයට ගන්නා අය පවා ඒවා සංවර්ධනය කරන මිනිසුන් ජීවත් විය යුතු බව නො සිතීමයි. විවෘත කේත මෘදුකාංග භාවිතා කරන අය ඒවා සංවර්ධනය කරන මිනිසුන්ට කෝපි කෝප්පයක් අරන් දීම ගැනවත් සිතන්නේ නැති තරම්. එය එක්තරා දුරකට අන්තර්ජාලයේ තිබෙන සියල්ල නිකම් ලබා ගැනීමට උත්සාහ කිරීමේ ප්‍ර‍වණතාවේ ලක්ෂණයක්. මෙම ප්‍ර‍වණතාව නිසා දැන්වීම් අලෙවිකරණයේ යෙදෙන විශාල සමාගම්වලට ලාභ ලැබිය හැකි වුණත්, සුළු පරිමාණ ව්‍යාපෘති පවත්වාගෙන යන්නට තරම් ප්‍ර‍මාණවත් ආදායමක් හෝ ලැබෙන්නේ නැහැ. 

ඒ නිසා විවෘත කේත මෘදුකාංගවලට වඩා සමාගම්වල මෘදුකාංග හැම විටම වේගයෙන් සංවර්ධනය වෙනවා. ඒ වගේ ම, භාවිතයත් වඩා පහසුයි.

අනෙක් පැත්තෙන්, සමාගම්වල මෘදුකාංගවල ක්‍රැක් හෙවත් සොරකම් කරන ලද පිටපත් නිතුක් වීමත් විවෘත කේත මෘදුකාංග ජනප්‍රිය නො වීමට තවත් හේතුවක්. මෘදුකාංග ක්‍රැක් කිරීමත් එක්තරා දුරකට විප්ලවීය සොරකමක්.  

විවෘත කේත මෙහෙයුම් පද්ධතියක් වන ලිනක්ස් භාවිතය ජනප්‍රිය නො වන්නට එක් හේතුවක් තමයි, වින්ඩෝස් ක්‍රැක් ඒ තරම් සුලබ වීම. ඒ සමාගම් විසිනුත් මේවා ක්‍රැක් කිරීම යම් දුරකට ඉවසනවා. විවෘත කේත මෘදුකාංග වෙත යොමු වීම වළක්වා ගන්නටත් එය ඉවහල් වෙනවා. නැතිනම්, සාමාන්‍ය කාර්යාල කටයුතු හැම එකක් ම කර ගත හැකි මට්ටමට දියුණු වූ ඕපන් ඔෆිස් මෘදුකාංගය ජනප්‍රිය නො වී තිබෙන්නට හේතුවක් නැහැ.

මෘදුකාංග සොරකම නැතිනම් ලංකාව වැනි රටවල තොරතුරු තාක්ෂණයක් නැහැ ය කිව්වත් වැරදි නැහැ. ඒ වගේ ම තමයි, මේ වන විට වානිජ නොවන බොහෝ පුද්ගල හා පොදු උවමනාවන්ට භාවිතා කළ හැකි මෘදුකාංග හා වැඩසටහන් අන්තර්ජාලයෙන් නොමිළේ ම ලබා ගත හැකියි. හැබැයි, වානිජමය කටයුතු වෙනුවෙන් යොදා ගන්නා මෘදුකාංග පවා නොමිළේ ම අපේක්ෂා කිරීම අසාධාරණයි. 

ඒකට හේතුවක් තිබෙනවා. මේ මෘදුකාංග සංවර්ධනය සඳහා බුද්ධිමය ශ්‍ර‍මය ලබා දුන් මිනිසුන්ට අප ගෙවිය යුතුයි. සමාගම් නැතිනම් ඔවුන්ට වැටුප් ගෙවන්නේ කවුරුද? හරි හමන් වැටුප් නො ලැබෙනවා නම් ඔවුන් සිය නිර්මානශීලිත්වය මේ අන්දමින් කේතවලට කවයි ද? අනෙක මෘදුකාංග සංවර්ධනය කියන්නේ මහජන ව්‍යාපාරයකට තබා රජයකටවත් හිතන්නට බැරි තරම් වේගයෙන් මිනිස් නිර්මානශීලිත්වය විකසනය වෙන තැනක්. එ් අවකාශය පාලනය කරන එක පහසු නැහැ. ඒ වගේම බුද්ධිමත් ක්‍රියාවකුත් නෙමෙයි. 

පිලිප් ශාන්තට වාමාංශික විභවයක් පෙනෙන්නේ මේ චෞර ස්වරූපයේ හා සමාගම් විරෝධයේ වෙන්න ඇති. “නොමිලයේ භාවිතා කළ හැකි මෘදුකාංග සංස්කෘතියකට නොයා ඊනියා වෙළෙදපළට ගරු කරමින් එහි රැදී ඉන්න මෘදුකාංග කම්පැණි අපේ කවුරුද?" කියා පිලිප් අහනවා. 

පිලිප් වාමාංශයක් වෙනුවෙන් පෙනී සිටින නිසා ඔහු පදනම් වන්නේ මාක්ස්ගේ මූලික සංකල්පයක් වන ඒලියනේෂන් හෙවත් පරාරෝපණය මත යයි සැලකිය හැකියි. ශ්‍ර‍මිකයා නිෂ්පාදනයෙන් පරාරෝපණය වීම හෙවත්, වැඩ කළත්, එහි ඵලය තමන්ගේ යයි නො සිතෙන පසුබිමක් නිර්මානය වීම තමයි මෙහි මූලික ඇන්ටිතිසීසය හෙවත් ප්‍ර‍තිවාදය වන්නෙ. 

මාක්ස්ගේ යුගයට සාපේක්ෂව මෙය නිවැරදි වුණත්, ඒ පදනමේ සිට ඉදිරිපත් කරනවා යයි සිතිය හැකි පිලිප්ගේ “නොමිලයේ භාවිතා කළ හැකි මෘදුකාංග සංස්කෘතියකට නොයා ඊනියා වෙළෙදපළට ගරු කරමින් එහි රැදී ඉන්න මෘදුකාංග කම්පැණි අපේ කවුරුද?" වගේ ප්‍ර‍වාද වර්තමානයට සාපේක්ෂව අති සරලයි. හේතුව, වර්තමානයේදී විශේෂයෙන් ම තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ සමාගම් එච්චර සරලව විග්‍ර‍හ කරන්නට බැහැ. 

අපි උදාහරණයක් ලෙස ගූගල්, ෆේස්බුක්, ට්විටර්, මයික්‍රොසොෆ්ට්, ඇපල්, ඇඩෝබි, ඔටෝඩෙස්ක් වැනි සමාගම් සලකා බැලුවොත්, එ්වා මේ වන විට රාජ්‍යයන් ඉක්මවා ගිය ගෝලීය ස්වරූපයේ අතථ්‍ය හෙවත් වර්චුවල් රාජ්‍යයන්ගේ මට්ටමේයි තියෙන්නේ. ඒවා ඒ මට්ටමට සංවර්ධනය වීමට අවශ්‍ය මිනිස් ඥාන ප්‍ර‍භාව විකසනය කර ගත්තේ මාක්ස්ගේ පරාරෝපණ සංකල්පයට හසු කර ගත හැකි ශ්‍ර‍ම සම්බන්ධතාවකින් ද යන්න නැවත සිතා බැලිය යුතුයි. 

අනාගත විභවයන් පිළිබඳව යම් චිත්‍ර‍යක් ඇඳගන්නට පුළුවන් අවකාශයක් තමයි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ආශ්‍රිතව සිදු වන චලනයන්. ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ විශේෂයෙන් ම ස්පර්ශක තිර සහිත ජංගම සන්නිවේදන උපකරණ වෙනුවෙන් සංවර්ධනය කරන ලද මෙහෙයුම් පද්ධතියක්. හැබැයි දැන් එය පුළුල් භාවිතාවන් රැසක් සඳහා යොදා ගැනෙනවා. 

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මේ වන විට අයිති ගූගල් සමාගමටයි. ඒ වුණාට එය විවෘත කේත මෘදුකාංගයක් ලෙස සංවර්ධනය කිරීමේ හිමිකම ජංගම උපකරණවලට විවෘත ප්‍ර‍මිති ඇති කිරීම සඳහා කටයුතු කරන දෘඪාංග, මෘදුකාංග හා විදුලි සංදේශන සමාගම් ජාලයක් විසින් සංවිධානය කර තිබෙන විවෘත ජංගම උපකරණ සන්ධානයට පවරා දී තිබෙනවා. ගූගල්, සෝනි, ඩෙල්, මෝටරෝලා, ඉන්ටෙල්, සැම්සුං වැනි සමාගම් 34ක් මේ සමාගම් සමූහයේ ඉන්නවා. වෙනත් අයටත් මේ කේතය සංවර්ධනය කර ගන්නට පුළුවන්. 

සමාගම්වල තනි අයිතියට යටත් ඇපල්, බ්ලැක්බෙරි, වින්ඩෝස් වැනි තරගකාරී මෙහෙයුම් පද්ධති අතර ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ස්මාට් දුරකථන වෙළඳපොළේ 85%කට වැඩි පංගුවක් අත්පත් කර ගන්නට වර්තමානයේ සමත් වී තිබෙනවා. 

මෘදුකාංග කොම්පැනි අපේ ද කියන ප්‍ර‍ශ්නය පිලිප් අහන්නෙ ෆේස්බුක් වේදිකාවක. අපට අමතක වෙනවා අප පය ගසාගෙන ඉන්නෙ කොතැනද කියලා. ඒක තමයි වර්තමානයේ ස්වභාවය. ගූගල්, ෆේස්බුක්, ට්විටර් වැනි සමාගම් සහ නවීන මිනිසා අතර ඇති සම්බන්ධය විග්‍ර‍හ කර ගැනීම සරල නැහැ. 

(Cover Photo: අයි වොයිස් දියත් කිරීමට සහභාගි වූ ස්වේච්ඡා ක්‍ර‍ියාකාරික තරුණියන් පිරිසක්)

Views:
1595

2017

0 votes
ෆේස්බුක් හා නව පරපුරේ ගැටලු
The problem
මෙහිදී රුහුණු විශ්වවිද්‍යාලයේ තරුණ තරුණියන් ඇසුරින් විසඳුම් ක්‍රියාත්මක කිරීමට අරමුණු කෙරේ. එහිදී විශ්වවිද්‍යාල සිසුන්ට ෆේස්බුක් භාවිතය සඳහා නිවැරදි දැනුවත්භාවයක් ලබා දීම සඳහා ඔවුන්ට සුදුසු සම්පත් දායකයන් සපයාගෙන දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වීමට අපේක්ෂා කෙරේ. එහිදී ඒ සඳහා දැනුවත් කිරීමේ පොත් පිංචක්, ලිපි නිර්මානාත්මක ලෙස ප්‍ර‍කාශයට පත් කළ හැකි ය. ඒ සඳහා ආදර්ශයක් සැපයිය හැකි කෙටි චිත්‍ර‍ටයක් ද විකාශනය කළ හැකි ය. මේ සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. (මා දැනට රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව විශේෂවේදී සිව්වන වසරේ ශිෂ්‍යාවකි. මෙම විෂය යටතේ පර්යේසණ නිබන්ධනයක් සකස් කරමින් පවතී.)
The solution
මෙහිදී රුහුණු විශ්වවිද්‍යාලයේ තරුණ තරුණියන් ඇසුරින් විසඳුම් ක්‍රියාත්මක කිරීමට අරමුණු කෙරේ. එහිදී විශ්වවිද්‍යාල සිසුන්ට ෆේස්බුක් භාවිතය සඳහා නිවැරදි දැනුවත්භාවයක් ලබා දීම සඳහා ඔවුන්ට සුදුසු සම්පත් දායකයන් සපයාගෙන දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වීමට අපේක්ෂා කෙරේ. එහිදී ඒ සඳහා දැනුවත් කිරීමේ පොත් පිංචක්, ලිපි නිර්මානාත්මක ලෙස ප්‍ර‍කාශයට පත් කළ හැකි ය. ඒ සඳහා ආදර්ශයක් සැපයිය හැකි කෙටි චිත්‍ර‍ටයක් ද විකාශනය කළ හැකි ය. මේ සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. (මා දැනට රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව විශේෂවේදී සිව්වන වසරේ ශිෂ්‍යාවකි. මෙම විෂය යටතේ පර්යේසණ නිබන්ධනයක් සකස් කරමින් පවතී.)
Budget

98500