අෑෂ්ලි ජඩ්, #MeToo හා පෙබරවාරි 10

by Ajith
03-Feb-2018

2017 වසරේ ටයිම් සඟරාවේ වසරේ පුද්ගලයා සම්මානය පිරිනැමුණේ පුද්ගලයකුට නොවෙයි. ඒ සම්මානය පිරිනමනු ලැබුවේ පුද්ගලයන් සමූහයකට ය කියා කියන්නට පුළුවන් වුණත්, ඇත්තෙන් ම එය ක්‍රියාකාරිත්වයක් ලෙස හඳුන්වන්නටත් පුළුවන්. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා දෙවෙනි තැනට පත් කරමිනුයි. ටයිම් සඟරාව ඔවුන් හැඳින්වූයේ නිහඬතාව බිඳින්නන් ලෙසයි. ඒ තමයි #MeToo ව්‍යාපාරය. ඒ ව්‍යාපාරය ගැනත්, ඒ පිළිබඳ තිබෙන විවේචනය ගැනත් අප මෙම කොලමෙහි මීට කලින් සටහන් තැබුවා. 

මී ටූ ව්‍යාපාරයේ නායිකාවක ශ්‍රී ලංකාවට සපැමිණීම සිදු වුණේ මේ අතරතුරයි. ඇය තමයි ඈෂ්ලි ජඩ්. ඇය හොලිවුඩ් නිළියක් පමණක් නොවෙයි, ලේඛිකාවක් හා මානුෂීය සේවා ක්‍රියාකාරිනියක් ද වෙනවා. ඇය ශ්‍රී ලංකාවට පැමිණියේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ කීර්තිනාම තානාපතිවරියක ලෙසයි. ශ්‍රී ලංකාවේදී ඇය විශ්වවිද්‍යාල සිසුන්, ඇඟලුම් කර්මාන්ත ශ්‍රමික කාන්තාවන්, ගර්භනී මාතාවන් ඇතුළු ප්‍රධාන වශයෙන් කාන්තාවන් හා ගැහැණු ළමයින් සමග ක්‍රියාකාරකම්වල යෙදෙනවා. ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය, ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සහ ඒ සම්බන්ධ හිමිකම් යන කාරණා ගැන ඇගේ විශේෂ අවධානය යොමු වනු ඇති බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසනවා. 

ඇය ලොව පුරා සෑම ආකාරයක ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ කාර්යයෙහි ලා අනුරාගයෙන් ක්‍රියා කරන අභිදේශකවරියකි. 1968දී ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ උපන් ඈෂ්ලි ජඩ්ගේ පියා මයිකල් සිමිනෙලායි. ඈෂ්ලිගේ මව නයෝමි ජඩ් හා ඇගේ සොයුරිය විනෝනා ජඩ් ගායිකාවන් ලෙස ප්‍රසිද්ධයි. ප්‍රංශ භාෂාව පිළිබඳ උපාධිධාරිනියක වන ඇය හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනියක්. ඈෂ්ලි ජඩ් මානුෂීය ක්‍රියාකාරකම්වල ඉදිරි පෙළ ක්‍රියාකාරිනියක්. ඇය කලක් Youth AIDS Internationalහි ලෝක මට්ටමේ ප්‍රකාශිකාව හා ගෝලීය තානාපතිවරිය ලෙස ද කටයුතු කළා. Double Jeopardy, Kiss the Girls, A Time to Kill, High Crimes, Simon Birch, Divine Secrets of the Ya-Ya Sisterhood, Someone Like You, De-Lovely, Frida, Ruby in Paradise, Norma Jean & Marilyn, Dolphin Tale වැනි චිත්‍රපට ඇගේ විශිෂ්ට ම රංගනයන් ඇති චිත්‍රපට ලෙස සැලකෙනවා. 

ස්ත්‍රීවාදිනියක වන ඈෂ්ලි ජඩ් #MeToo ව්‍යාපාරයේ නායිකාවක ලෙස කැපී පෙනුණා. හොලිවුඩ් සිනමාවේ ලිංගික හිංසනයන්ට එරෙහිව ප්‍රබල හඬක් නැංවූ මෙම ව්‍යාපාරයේ ඇගේ මැදිහත්වීම ඉතා වැදගත් කාර්යයක් වුණා. 

මිරාමැක්ස් කියන්නෙ හොලිවුඩ් සිනමාවෙ තරු නිර්මානය කරන චිත්‍රාගාරයක්. එහි ප්‍රධානියා වන හාවි වෙයින්ස්ටන් සම්බන්ධයෙන් ඉතා වැදගත් හෙළිදරව් කිරීමක් 2017 ඔක්තෝබරයේදී ඈෂ්ලි ජඩ් ටයිම් සඟරාවට කරනවා. ඈෂ්ලිගේ සිනමා නිළි වෘත්තිය ආරම්භ වෙමින් තිබියදී, 1997දී දිනෙක ඇයට හෝටලයකට ආරාධනා කරන හාවි වෙයින්ස්ටයින් ඇය දූෂණය කරන්නට උත්සාහ කරනවා. එතැනින් බේරී පළා යන ඇය මෙම සිද්ධිය හෙළිදරව් කරනවා. එයින් ඇගේ වෘත්තීය ඉදිරි ගමනටත් බාධා සිදු වෙනවා. හාවි වෙයින්ස්ටයින්ගේ මෙම හැසිරීම හොලිවුඩ් සිනමා කව තුළ ප්‍රසිද්ධ රහසක් ලෙස පවතිනවා. එහෙත්, ඈෂ්ලි ජඩ් 2017 ඔක්තෝබරයේදී මේ පිළිබඳව නිව්යෝක් ටයිම්ස් පුවත්පතට හෙළිදරව් කිරීමත් සමග ම ලෝකය ඒ හඩට සවන් දෙන්නට පටන් ගත්තා. #MeToo නම් හෑෂ්ටැගය කරලියට පැමිණියේ ඒ සමගයි. උත්කර්ෂවත් කාන්තාවන් විසින් ප්‍ර‍වර්ධනය කරනු ලැබීම නිසා මෙම හෑෂ්ටැගය පැය 48ක් ඇතුළත පන්ලක්ෂයක් දෙනා විසින් භාවිතා කරන ලද බව ට්විටර් සමාජ මාධ්‍ය අඩවිය වාර්තා කළා. ෆේස්බුක්හි පැය 24ක් තුළ මිලියන 12ක් පමණ වාර ගණනක් එය භාවිතා වුණා. හොලිවුඩයේ සිට ගමේ පැල්පත දක්වා හැම තැනක ම ලිංගික පීඩාවන්ට එරෙහිව හඬ නැගීම සඳහා එය පොදු හෑෂ්ටැගයක් බවට පත් වුණා. 

සේවා ස්ථානයේදී, අධ්‍යාපන ආයතනයේදී, පොදු ප්‍රවාහනයේදී විතරක් නොවෙයි නිවසේදී පවා කාන්තාවන් ලිංගික හිංසනයට ලක් වීම ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් නොවෙයි මුළු ලෝකයේ ම බොහෝ රටවල දැකිය හැකි තත්වයක්. ශ්‍රී ලංකාවේ මේ පිළිබඳ අධ්‍යයන රැසක් සිදු වී තිබෙනවා. උදාහරණයක් ලෙස එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් 2015දී කරන ලද සමීක්ෂණයකට අනුව, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 90%ක් ම පොදු ප්‍රවාහනයේදී කිසියම් දිනෙක ලිංගික හිංසනයට ලක් වී තිබෙනවා. තමන් අකැමැති හා අනාරාධිත ලිංගික බලපෑම් වාඩපලේ, පාසලේ, විශ්වවිද්‍යාලයේ, බස් රියේ, දුම්රියේ ඉතා සුලබ බව ඕනෑම කාන්තාවක්, ගැහැණු ළමයෙක් දන්නවා. මෙහි නරක ම පැතිකඩ වන්නේ මෙමගින් කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ හැකියාවන් උපරිමයෙන් මල් ඵල ගන්වා ගැනීමට බාධා සිදු වීමයි.  දූෂණය නිසා දරුවන් කීදෙනෙකුට අධ්‍යාපනය හා යොවුන් වියේත්, සමස්ත ජීවිතයේත් සතුට අහිමි වෙනවා ද? සේවා ආයතනවල ලිංගික බලපෑම් නිසා කාන්තාවන් කීදෙනෙක් පීඩනයට පත් වනවා ද? කීදෙනෙක් රැකියා අතහැර දමන්නට පෙළඹෙනවා ද? 

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් ශ්‍රම බලකායේ ඉන්නේ 35%ක පමණ පිරිසක් පමණයි. එහෙත්, අපේ රටේ ආර්ථිකය උර දරා සිටින මැද පෙරදිග රැකියා, ඇඟලුම් කර්මාන්තය, වැවිලි කර්මාන්තය වැනි අංශවල මෙන් ම රජයේ සේවයේත් කාන්තාවන් දරන වගකීම අති විශාලයි. හැබැයි, කළමනාකරණ, විධායක ශ්‍රේණිවලට යන විට වගේම ව්‍යවසායකයන් අතරත් කාන්තා නියෝජනය ඉතා අඩුයි. රටේ ප්‍රතිපත්ති හදන පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.3%ක් පමණයි. වත්මන් ආණ්ඩුව විසින් පළාත් පාලන ආයතනවල 25%ක කාන්තා නියෝජනයක් තහවුරු කර දීම අලුත් ආරම්භයක පළමු පියවර ලෙස සැලකිය හැකියි. ලංකාවේ සැබෑ කාන්තා නැගිටීම පෙබරවාරි 10න් පසු බලාපොරොත්තු වෙමු ද?

(2017 ‍පෙබරවාරි 05දා රැස පුවත්පතේ පළ විය.)

 

Views:
267