අධිෂ්ඨානය හා අවස්ථාව තිබේ නම් කාන්තාවට ඕනෑම දෙයක් කළ හැකියි - ජයන්ති කුරු-උතුම්පල

by Ajith
12-Feb-2019

ජයන්ති කුරුඋතුම්පල එවරස්ට් කඳු මුදුනට ගිය පළමු ශ්‍රී ලාංකික කාන්තාවයි. මේ දිනවල ඇය ලොව මහාද්වීප හතක කඳු මුදුන් හතක් තරණය කිරීමේ අභියෝගයට උර දී සිටින්නී ය. ඒ පිළිබඳ Praja.lkවෙතින් උපුටා ගන්නා ලද විස්තරයක් මෙසේ ය: 

එවරස්ට් කඳු මුදුන තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා වන ජයන්ති කුරු-උතුම්පල ඇගේ මිතුරු, දෙවෙනියට එවරස්ට් නැග්ග ලාංකිකයා වන ජෙහාන් පීරිස් සමග අලුත් අභියෝගයකට සැරසෙනවා. ඒ තමයි ලොව මහාද්වීප හතේ උසම කඳු මුදුන් හත තරණය කිරීමේ අභියෝගය. මෙයට Seven Summits Challenge – සෙවන් සමිට්ස් චැලෙන්ජ් – කියනවා.

මේ වන විටත් ජයන්ති හා ජොහාන් කඳු මුදුන් දෙකක් නැග හමාරයි. ඒ කිලිමන්ජාරෝ හා එවරස්ට්.

මේ මොහොතේ ඔවුන් ආරම්භ කර තිබෙනවා, තුන්වන කඳු මුදුන නැගීම. ඒ තමයි, ඇන්ඩීස් කඳුවැටියේ ආර්ජන්ටිනාවේ පිහිටි මීටර් 6,962ක් උස ඇකොන්කාගුවා කඳු මුදුන. එය උසින් දෙවෙනි වන්නේ මීටර් 8,84ක් උස එවරස්ට් කඳු මුදුනට පමණයි.

ඔවුන් ඒ සඳහා තෝරාගෙන තිබෙන්නේත් කෙළින් හා වඩාත් අභියෝගාත්මක මග වන පොලිෂ් ග්ලැසියරය ඔස්සේ මගයි. එහිදී ඔවුන්ට විශේෂ සපත්තු පැළඳගෙන, දෑතින් ගත් අයිස් පොරව දෙකක් ආධාරයෙන් අයිස් කඳු තරණය කරන්නට සිදු වෙනවා.

1979දී දෙහිවලදී උපත ලැබූ ඇය කොළඹ බිෂොප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා ය. දිල්ලි සරසවියෙන් පළමු උපාධිය ලැබූ ඇය සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ශාස්ත්‍ර‍පති උපාධියක් ලබා ගත්තා ය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ විශේෂඥවරියක හා ස්ත්‍රීවාදී ක්‍රියාකාරිනියක වන ජයන්ති සමග කාන්තාව හා ක්‍රියාශීලී ජීවිතය පිළිබඳ iVoice.lk කණ්ඩායමේ අපි කලකට පෙර සංවාදයක යෙදුණෙමු. මේ එහි සටහනයි.

ප්‍ර‍ශ්නය: ඇයි ඔබ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ විශේෂඥවරියක් වුණේ?

පිළිතුර: ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන්නේ මගේ අනුරාගයන් අතරින් එකක්. ඒ නිසා තමයි මම ඒ ගැන හැදෑරුවේ. ඒක අපේ ජීවිතේදී ඉතා වැදගත් වෙනවා. කාන්තාවන් විදියට අපට සමාජයේ තිබෙන ස්ථානය තීරණය වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සමාජයේ තිබෙන දැනුවත්බව මතයි. ඒ වෙනුවෙන් වැඩ කරන්නට මා කැමතියි.

ප්‍ර‍ශ්නය: එතකොට කඳු නැගීම ඔබේ ජීවිතයට සම්බන්ධ වන්නේ කොහොමද?

පිළිතුර: කඳු නැගීම හා පර්වත තරණය මගේ විනෝදාංශයයි. ඒ වගේ ම මම ඒ ගැනත් අනුරාගීයි. එවරස්ට් කඳු මුදුනට නගින එක මා කුඩා කාලයේ සිට සිතේ සඟවාගෙන තිබුණු හීනයක්. එය සැබෑ කර ගන්නට මං ගොඩක් මහන්සි වුණා.

ප්‍ර‍ශ්නය: එහෙම අධිෂ්ඨානයක් ඇති වෙන්න ඔබට පසුබිම හැදුණේ කොහොමද?

පිළිතුර: මගේ දෙමව්පියන් මා උනන්දු වන දේවලට මාව දිරි ගැන්වූවා. මට වැඩිමල් සහෝදරයෙක් ඉන්නවා. ඔහුත් එක්ක මම කුඩා කාලයේ පටන් ම අපේ වත්තේ ගස් නැගීම් වැනි සෙල්ලම් කළා. මගේ දෙමව්පියන් මාව අධෛර්ය කළේ නැහැ. ඒ වෙනුවට ඔවුහු මට නිවැරදි තාක්ෂණය කියා දුන්නා. ඔවුහු මා ක්‍ර‍ීඩාවට උනන්දු කළා. පස්සෙ කාලෙක, 2013දී, මං ඉන්දියාවේ ඩාජිලිංහි හිමාලයානු කඳුනැගීමේ ආයතනයේ කඳු නැගීමේ මූලික හා උසස් පුහුණු පාඨමාලා හැදෑරුවා. මේ පුහුණුවීම් කෙරුණේ ඉන්දියාවේ අප්‍ර‍කට හිමාල කඳු මුදුන්වලයි. ඉන්දීය හමුදාවේ මෙහෙයවීමෙන් මෙම පුහුණුව කළේ මුලින් ම එවරස්ට් නැග්ග එඩ්මන්ඩ් හිලරිගේ ෂර්පා ගෝත්‍රික සහායකයා වූ ටෙන්සින් නෝගේගේ පුතා විසිනුයි. ඔක්සිජන් ටැංකි සමග නැගිය යුතු තරම් උස කඳු නැගීම් එයට ඇතුළත් වුණා. එය කාන්තාවකට දැවැන්ත අභියෝගයක් වුණා. ඒ පුහුණුවේදී එක් කාන්තාවක් මිය ගියා. ඊට පස්සෙ මම ලොව විවිධ තැන්වල උස් කඳු නැගලා පුහුණු වුණා.

ප්‍ර‍ශ්නය: එවරස්ට් නැගීම කෙබඳු අභියෝගයක් වුණා ද?

පිළිතුර: එහිදී මට යොහාන් පීරිස්ව මුණගැසීම ඉතා වැදගත් වුණා. අපි 2012දී එක්ව අයිලන්ඩ් පීක් කඳු මුදුන තරණය කළා. එය නගිද්දී අපි එවරස්ට් කඳු මුදුන දැක්කා. එතැනදී අපි කතිකා කර ගත්තා එවරස්ට් තරණය කරන්නට. අපි ඒ පිළිබඳ අධ්‍යයනය කළා. මෙය ජීවිතයත්, මරණයත් අතර සටනක් නිසා අපි හොඳ සේවා සපයන කඳු තරණ සමාගමක් එක්ක ඒ ගමන යන්න සැලසුම් කළා. අපට  ඒ සඳහා මුදල් සොයා ගැනීම දැවැන්ත අභියෝගයක් වුණා. මටත්, මගේ කණ්ඩායමේ සාමාජික යොහාන් පීරිස්ටත් අනුග්‍රාහකයන් සොයා ගැනීම ඒ තරම් පහසු වුණේ නැහැ. කණ්ඩායමේ මා වැනි කුඩා කාන්තාවක් සිටි එකත් එය දුෂ්කර වීමට හේතුවක් වෙන්න ඇති.

ප්‍ර‍ශ්නය: එක්කෙනෙකුට කෙතරම් මුදලක් වැය වුණා ද?

පිළිතුර: එක්කෙනෙකුට රුපියල් මිලියන 10ක්.  අපට සේවා සැපයූ සමාගම අප සමග දිගට ම එක්ව යන ෂර්පාවරයකු සැපයුවා. මගේ ෂර්පා සිව්වරක් එවරස්ට් නැග්ග කෙනෙක්. ෆෙයාවේ හෝල්ඩිං ඇතුළු සමාගම් ගණනාවක් අපට අනුග්‍රාහකත්වය සැපයුවා. මේ මුළු ව්‍යායාමයට ම මාස දෙකක් විතර ගියා. එවරස්ට් කඳු මුදුන පාමුල මූල කඳවුරට යන්නත් සති දෙකක් ගත වෙනවා. බොහෝ ශ්‍රී ලාංකිකයන් එතැනට ගොස් තිබෙනවා. එතැන් සිට දෙවන කඳවුර දක්වා පමණ ගිය අය සිටියත් ශ්‍රී ලංකාවේ කිසිවෙක් එවරස්ට් මුදුනට නැග තිබුණේ නැහැ.

ප්‍ර‍ශ්නය: කොහොමද කාන්තාවක් ලෙස ඔබ මෙම අභියෝගය ජය ගත්තෙ?

පිළිතුර: ශරීරය පාලනය කර ගැනීම ඉතා වැදගත් වුණා. දිනකට වතුර ලීටර් හතරක් බොන්න ඕනෑ, ඔක්සිජන් අඩු තත්වයන් තුළ ආහාර රුචිය අඩුයි. ඒත්, ආහාර ගැනීමත් වැදගත්. මුහුදු මට්ටමෙන් ඉතා ඉහළදී ඔක්සිජන් අඩුයි. ඒ වගේ ම ඉහළ මට්ටමේදී හැදෙන විශේෂ ලෙඩක් තිබෙනවා. හයි ඇල්ටිටියුඩ් සික්නස් ලෙස ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ එයයි.අතරමගදී අධෛර්යවත් වෙන වෙලාවල් තිබෙනවා. ඒ වෙලාවට යොහානුත්, මමත් එකිනෙකා දිරිමත් කර ගත්තා. එවරස්ට් නැගීම එක පාරට කරන්න බැහැ. මුලින් ම මූල කඳවුරේ ඉඳලා පැය හතක් තුළ පළමු කඳවුරට ගිහින් එහි රැයක් ඉඳලා ආපසු එන්න ඕනැ. දින දෙකක් විවේක අරගෙන රුධිරයේ රතු රුධිරානු මට්ටම ශක්තිමත් කරගෙනත් කරගෙන තමයි ඊළඟ අදියරේදී පළමු කඳවුර පහු කරලා දෙවන කඳවුරට යන්නේ. නැවත ආපසු විවේක අරගෙන ශරීරය හැඩගස්වා ගත යුතුයි. මේ විදියට තමයි හතරවන කඳවුර පසු කරලා මුදුනට නගින්නේ. එක් අදියරකදී මට නියමිත කාලය තුළ ආපසු එන්නට බැරි වුණා. ඒ වෙලාවේ මම අසමත් වෙන්නට ඉඩ තිබුණා. ඊළඟ අවස්ථාව මට දුන්නේ දැඩි අභියෝගයක් සමගයි. එය ශාරීරිකව පමණක් නොව මානසිකවත් දැඩි අභියෝගයක්. ඒත්, මම මෙහෙමත් හිතුවා. මට මේ දේ කරන්නට බැරි වුණා නම්, එහෙම බැරි වුණේ මම කාන්තාවක් වූ නිසා ය කියා කියන්නට ඉඩ තිබුණා.

ප්‍ර‍ශ්නය: එවරස්ට් තරණයෙන් ඔබ සමාජයට දෙන පණිවුඩය කුමක් ද?

පිළිතුර: ස්ත්‍රියක වීම අභියෝග ජය ගැනීමේදී බාධාවක් නො වේ ය කියන පණිවුඩය දෙන්නට මම කැමතියි. සමාජයේ කාන්තාවකට ඉදිරියට යන්නට බාධා කරන සීමාවන් තිබෙනවා. පොඩි කාලේ ඉඳන් ම ගස් නගින්න එපා, බයිසිකල් පදින්න එපා වැනි අදහස් තමයි ගැහැනු ළමයින්ට දෙන්නේ. කාන්තාවන් ලෙස අපි එයට අභියෝග කළ යුතුයි. කාන්තාවන් කළ යුතු දේ ගැන සමාජයේ ඒකරූපී අදහස් තිබෙනවා. මේ ගතානුගතික ආකල්පවලට අපි අභියෝග කළ යුතුයි. කාන්තාවන්ට සමාජයේ සම අවස්ථා ලබා ගන්නට අපි උත්සාහ කළ යුතුයි. මගේ කණ්ඩායම් සගයා වන යොහාන් පීරිස්ට තාක්ෂණික බාධක නිසා කඳු මුදනට යන්නට බැරි වුණා. මම එවරස්ට් නැගපු පළමු ලාංකිකයා වුණා. ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් හතරක විතරයි මුලින් ම එවරස්ට් නැගපු පුද්ගලයා කාන්තාවක් වුණේ. ආසියාවේ නම් ශ්‍රී ලංකාව විතරයි.

ප්‍ර‍ශ්නය: කාන්තාව පිරිමියාට වඩා ශාරීරිකව දුබලයි කියන අදහස ගැන ඔබේ විග්‍ර‍හය කුමක් ද?

පිළිතුර: ස්ත්‍රී බිළිඳු කළල පිරිමි බිළිඳු කළලවලට වඩා ශක්තිමත් බව වෛද්‍ය විද්‍යාත්මකව අවබෝධ කරගෙන තිබෙනවා. ගැහැනිය දුර්වලයි කියන අදහස පසු කාලීනව පීතෘ මූලික සමාජයෙන් මතු වූ දෙයක්. මාතෘ මූලික සමාජයේ කාන්තාව පිරිමියා හා සමාන තත්වයක හිටියා. ඒත්, පෞද්ගලික දේපල හා එහි හිමිකාරිත්වය පිරිමියා අතට ගැනීමත් සමග ම කාන්තාව දුර්වල ය යන අදහස පිරිමි දාර්ශනිකයන් විසින් ම නිර්මානය කරනු ලැබුවා. ඒත් එය ඇත්තක් නොවෙයි. මම කාන්තාවන්ගෙන්, ගැහැනු ළමයින්ගෙන් ඉල්ලා සිටින්නේ වැඩි වැඩියෙන් ක්‍රියාකාරී වෙන්නටයි. අභියෝග ජයගන්නට උත්සාහ කරන්නටයි.

අධිෂ්ඨානයක් ඇති කර ගන්නවා නම් හා අවස්ථාව දෙනවා නම් කාන්තාවට ඕනෑම දෙයක් කළ හැකියි.

Views:
242