ඔබත් ගෘහස්ථ ප්‍ර‍චණ්ඩත්වයට ගොදුරු වෙනවා ද? එය වළක්වා ගන්නට කළ යුතු දේ මෙන්න

by iVoice Staff
30-Nov-2015

ප්‍ර‍චණ්ඩත්වයට ලක් වෙනවා ද?

එය නවත්වන්නැයි ඉල්ලා සිටින්න.

විරෝධය පළ කරන්න.

ආරක්ෂා වන්න.

පැමිණිලි කරන්න.

2005 අංක 34 ගෘහස්ථ ප්‍ර‍චණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත ගැන ඔබ දන්නවා ද? (පනතේ ඉංග්‍රීසි පිටපත මෙතැනින්)

එම පනතේ අර්ථ දක්වා තිබෙන ආකාරයට ගෘහස්ථ ප්‍ර‍චණ්ඩ ක්‍රියාවක් යනු පීඩාවට පත් තැනැත්තිය සහ වරදකරු අතර ඇති පෞද්ගලික ස්‌වභාවයේ සම්බන්ධතාවෙන් පැන නගින්නා වූ, නිවසේ පරිසරය තුළදී හෝ පිටතදී වරදකරු විසින් යම් පීඩාවක්‌, අතවරයක්‌, සාපරාධී බිය ගැන්වීමක්‌, උද්වේගශීලී බැණ වැදීමක්‌, බරපතල ස්‌වභාවයේ අවමන් කිරිමක් හෝ අපහාස කිරීමක් වන ක්‍රියා කලාපයකි.

පනතේ 2 (1) වගන්තියට අනුව, එම ගෘහස්‌ථ පීඩාව වැළැක්‌වීම සඳහා ආරක්‌ෂා කිරීමේ ආඥාවක්‌ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගැනීමට ගෘහස්ථ පීඩාවට ලක් වන තැනැත්තාට අයිතියක්‌ ඇත. පොලිස් නිලධාරියකුට වුව ද අධිකරණයෙන් එම ඉල්ලීම කළ හැකි ය. වයස අවුරුදු 18ට අඩු ළමයකු සම්බන්ධයෙන් නම් මව, පියා, භාරකරු, පොලිසිය හෝ ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් ඉල්ලීම කළ හැකි ය.

ප්‍රචණඩත්වය පිළිබඳ තතු දන්නා කවුරුන් හෝ අයකුගේ /අයවලුන්ගේ දිවුරුම් ප්‍රකාශන ඉල්ලුම් පත්‍රයට ඇමිණීම වැදගත් වේ.

ගෘහස්ථ පීඩාව සිදු වන ස්ථානය අයත් අධිකරණ බල ප්‍රදේශයේ මහේස්ත්‍රාත් උසාවියට කෙළින් ම හෝ නීතිඥවරයකු හෝ පොලිසිය මාර්ගයෙන් හෝ පැමිණිලි කරන්නට පුළුවන. මහේස්ත්‍රාත් උසාවියට යාමට පෙර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කිරීම අවශ්‍ය නැත.

පනතේ 3 වගන්තියට අනුව එසේ ඉල්ලීමක්‌ කර ඇති විටක අධිකරණය විසින් වහාම එම ඉල්ලීම සළකා බැලිය යුතුය. පනතේ 4 වන වගන්තිය අනුව නඩු විභාගය අවසන් වන තුරු නොසිට සැකකාර පුද්ගලයාට එරෙහිව අතුරු ආරක්‌ෂාවක්‌ නිකුත් කිරීමටද අධිකරණයට බලය තිබේ. මෙවන් අවස්‌ථාවකදී පාර්ශ්වයන්ගේ යහපත පිණිස ඔවුන් උපදේශනයට යොමු කිරීමට ද අධිකරණයට බලය තිබේ.

ගෘහස්‌ථ ප්‍රචණ්‌ඩ ක්‍රියා වැළැක්‌වීමේ පනත අදාළ වන්නේ කාන්තාවන්ට පමණක් නො වේ. පීඩාවට ලක් වන තැනැත්තා කාන්තාවක වුණත්, පිරිමියකු වුණත් නීතිය විසින් එක හා සමානව සලකනු ලැබේ.

වැඩිහිටියෙකුට මානසික උද්වේගශීලී හිංසනයන් පැමිණවීම හැර සෙසු ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා සියල්ල දණ්ඩ නීතී සංග්‍රහය යටතේ ද දඩුවම් පැමිණ වියහැකි වරදවල් වේ. එබැවින් පොලිසිය ගෘහස්ථ ප්‍ර‍චණ්ඩත්වය සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ ද සෙසු අපරාධ වලදී කටයුතු කරන ආකාරයට ම ය.

දැඩි ශාරීරික හා ලිංගික අපයෝජන අවස්ථාවන්හීදී වින්දිතයා ඒ ගැන රෝහලකට හෝ පොලිසියට වාර්තා කළ යුතුය. සිදුවී ඇති තුවාල අපරාධ සහගත ස්වභාවයක ඒවානම් අපරාධ නීතිය යටතේ වග උත්තරකරුට නඩු පැවරිය යුතු වේ.

දණ්ඩ නීති සංග්‍රහයේ (1995 අංක 22 දරණ සංශෝධිත පනතේ) ද හිංසාව, බරපතල හිංසාව, බරපතල ලිංගික අපයෝජනය, සහ මනුෂ්‍ය ශරීරයට සිදුකෙරෙන අපරාධ වැනි ක්‍රියා පොදු සාපරාධී ක්‍රියා ලෙස සැලකේ.

ඔබට පිහිටල ලබා ගත හැකි සේවා තිබේ. නො බියව ඒවා වෙත පිවිසෙන්න.

පොලිස් ක්ෂණික ඇමතුම් අංකය – 119
ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා සම්බන්ධ ක්ෂණික ඇමතුම් අංකය – 1929
කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා සම්බන්ධ ක්ෂණික ඇමතුම් අංකය – 1929
Women in Need – 011 2478585
මාතර, මහනුවර, මාරවිල, මහමෝදර, දික්ඔය, තඹුත්තේගම, ත්‍රිකුණාමලය, නුවරඑළිය, වවුනියාව, අවිස්සාවේල්ල, ද සොයිසා කාන්තා රෝහල, කල්මුනේ උතුර, රිකිල්ලගස්කඩ, වාලච්චනේ, මඩකලපුව, පානදුර කේතුමතී, කලුතර, කාසල් රෝහල්වල පිහිටි මිතුරු පියස

(මෙම ලිපිය මුලින් www.kiyanna.lk වෙබ් අඩවියේ පළ විය. එම වෙබ් අඩවියේ අන්තර්ගතය www.ivoice.lk වෙත මාරු කර ඇත.)

Views:
3439

2017

0 votes
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිටු දකිමු.
The problem
බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරා ගත් දුෂ්කර පාසල් 10 ක 8 ශ්‍රේණියෙන් ඉහල ළමුන් ඉලක්ක කරගෙන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිලිබඳ අධ්‍යාපනික නාට්‍යානුසාරයෙන් ළමුන් දැනුවත් කිරීම. මෙහිදී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යනු කුමක්ද, එහි ප්‍රති විපාක හා එ සඳහා ඇති නීතිමය පසුබිම පිලිබඳව ළමුන්ගේ දැනුම හා ආකල්පමය වෙනස් කමක් ඇති කිරීම ප්‍රධාන අරමුණ වේ. නාට්‍යය පෙන්වීමට පෙර හා පසු ළමුන්ගේ දැනුම හා ආකල්පමය වෙනස ප්‍රශ්නාවලියක් ආධාරයෙන් පරීක්ෂා කිරීම මඟින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා එ සම්බන්ධ හේතු පිළිබඳව ළමුන්ගේ දැනුවත්භාවය පිලිබඳ නිගමනයකට පැමිණීම අනෙක් අරමුණ වේ.
The solution
බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරා ගත් දුෂ්කර පාසල් 10 ක 8 ශ්‍රේණියෙන් ඉහල ළමුන් ඉලක්ක කරගෙන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිලිබඳ අධ්‍යාපනික නාට්‍යානුසාරයෙන් ළමුන් දැනුවත් කිරීම. මෙහිදී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යනු කුමක්ද, එහි ප්‍රති විපාක හා එ සඳහා ඇති නීතිමය පසුබිම පිලිබඳව ළමුන්ගේ දැනුම හා ආකල්පමය වෙනස් කමක් ඇති කිරීම ප්‍රධාන අරමුණ වේ. නාට්‍යය පෙන්වීමට පෙර හා පසු ළමුන්ගේ දැනුම හා ආකල්පමය වෙනස ප්‍රශ්නාවලියක් ආධාරයෙන් පරීක්ෂා කිරීම මඟින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා එ සම්බන්ධ හේතු පිළිබඳව ළමුන්ගේ දැනුවත්භාවය පිලිබඳ නිගමනයකට පැමිණීම අනෙක් අරමුණ වේ.
Budget

75000

by Samudi