අදහස් යා කරමින් ප්‍ර‍ජාවන් ගොඩනගන Youth4Youth

by Ajith
16-May-2018

මැයි 16දා සාමයෙන් එකට ජීවත් වීම සමරන ජාත්‍යන්තර දිනය යි. 

මේ ඡායාරූප එකතුව පසුගියදා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ අනුග්‍ර‍හයෙන් ඇඹිලිපිටියේදී පැවැත්වුණ Youth4Youth දකුණු පළාත් සම්භාෂණයට සහභාගි වූ තරුණයන් අතරින් ලබා ගත් ඒවායි. විවිධ වාර්ගික, ආගමික, භාෂා ප්‍ර‍ජාවන්ට අයත් වන යෞවන, යෞවනියන් ඔවුන් අතර සිටිනවා.

'අදහස් යා කරමින් ප්‍ර‍ජාවන් ගොඩනගමු' යන තේමාවෙන් පැවැත්වෙන මෙම සම්භාෂණ මාලාවේ තෙවන අදියර වූ එහිදී උතුරේත්, නැගෙනහිරත් තරුණ පිරිස් දකුණේ තරුණ ජනයා සමග එක් වුණා. ඒ වනාහි ඇතැමෙකු දකුණු පළාතට පැමිණි පළමු අවස්ථාවයි. 

උතුරු හා නැගෙනහිර පළාත් සම්භාෂණවලදී තෝරා පත් කර ගන්නා ලද සංවිධාන කමිටුව දකුණු පළාත් සම්භාෂණයයට නායකත්වය දුන්නා. Youth4Youth කියන්නේ තරුණ ජනයාට තමන්ගේ ප්‍ර‍ශ්න සාකච්ඡා කරන්නට, අදහස් ගොඩනගා ගන්නට, ඒවා සංවාද කරන්නට, ඉදිරිපත් කරන්නට විතරක් නොවෙයි ක්‍රියාත්මක කරන්නටත් වේදිකාවක්. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කරන්නේ ඔවුන්ට ජාත්‍යන්තර, රාජ්‍ය, රාජ්‍ය නොවන හා පෞද්ගලික අංශවල නායකයන් මුහුණට මුහුණ මුණගැසීමේ හා සාකච්ඡා කිරීමේත්, ඔවුන් යෝජනා කරන විසඳුම් ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබා ගැනීමේත් අවස්ථාවක් සම්පාදනය කර දීමයි. 

වර්තමාන යෞවන පරපුර ලොව මෙතෙක් දැන සිටි විශාලතම යොවුන් පරපුරයි.

සන්නද්ධ ගැටුම්වලින් පීඩාවට පත් ලංකාව වැනි රටවල ජනගහණයෙන් වැඩි ප‍්‍රමාණයක් සැදුම් ලබන්නේත් යෞවනයින්ගෙනු යි.

යෞවනයින්ගේ අධ්‍යාපනයට සහ ආර්ථික අවස්ථාවන්ට බාධා ඇති වීම හේතුවෙන් දිගුකාලීන සාමයට සහ සංහිඳියාවට බරපතල බලපෑමක් ඇති වන බව අධ්‍යයනය කර තිබෙනවා. සාමය සහ ආරක්‍ෂාව පවත්වාගැනීම සහ ප‍්‍රවර්ධනය කිරීමේ පරිශ‍්‍රමයේදී යෞවනයින්ගේ ධනාත්මක දායකත්වය ඉතා වැදගත් වන්නට එයත් හේතුවක්.

ගැටුම් වළක්වා ගැනීමේදී සහ නිරාකරණය කිරීමේදී, සාමය ගොඩනැගීමේදී සහ සාමසාධනයේදී යෞවනයින්ට සිදු කළ හැකි කාර්යභාරය අති විශාල යි. යෞවනයින් අතර ප‍්‍රචණ්ඩත්වය සහ අන්තවාදී ක‍්‍රියා ඉහළ යාම සමාජ ස්ථාවරත්වයට සහ සංවර්ධනයට තර්ජනයක් විය හැකි යි. සාමය ගොඩනැගීමේ ප‍්‍රයත්නයන් බිඳවැටීමට සහ ගැටුම් ඇවිස්සීමට හේතුවිය හැකි යි. ත‍්‍රස්තවාදයට උපකාරී විය හැකි යි.

කලාපීය සහ ජාත්‍යන්තර අනාරක්‍ෂිත බවට රුකුල් දෙන අන්තවාදී ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීමට හැකි ධනාත්මක සහ ආදර්ශවත් භූමිකාවක් යෞවනයින්ට සිදුකළ හැකි යි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 2250 යෝජනා සම්මතය වැදගත් වන්නේ මෙතැනදී යි. 

එහි ප‍්‍රධාන කොටස් පහ මගින් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලින් ඉල්ලා සිටිනු ලබන ප‍්‍රධාන කරුණු මෙසේ ය:

සහභාගිත්වය
සෑම මට්ටමකම තීරණ ගැනීමේ ක‍්‍රියාවලියේදී යෞවන නියෝජනය වැඩි කරන්න. සාම කි‍්‍රයාවලි සහ ආරවුල් නිරාකරණය සඳහා අර්ථවත් යෞවන සහභාගිත්වය සඳහා ඒකාබද්ධ යාන්ත‍්‍රණයන් පිහිටුවන්න. ඔවුන්ගේ අදහස් පිළිගන්න. යොවුන් අවශ්‍යතාවන් පිළිබඳ සැලකිලිමත් වන්න.

ආරක්‍ෂාව
ජාත්‍යන්තර නීතිය යටතේ යෞවනයින්ද ඇතුළු සිවිල් ජනතාවගේ ආරක්‍ෂාවට අදාළ බැඳීම් තරයේ ගරු කරන ලෙස සන්නද්ධ අරගලයන්ගේ යෙදෙන සියලූ පාර්ශවවලින් ඉල්ලා සිටිනු ලැබේ. අපරාධ, යුද අපරාධ සහ ඉතා බරපතල අපරාධ සඳහා දඬුවම් නොලබා සිටීම අවසන් කරන්න. සෑම ආකාරයකම ලිංගික හිංසනයන්ගෙන් සහ ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය පිළිබඳ ප‍්‍රචණ්ඩත්වයන්ගෙන් ආරක්‍ෂාව සලසන්න. සෑම පුද්ගලයෙකුගේම මානව අයිතීන්ට ගරු කරන්න. ජනසංහාරයන්ගෙන්, යුද අපරාධවලින්, ජනවාර්ගික සංහාරයන්ගෙන් සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලින් ආරක්ෂා කරන්න.

වළක්වාගැනීම

ප‍්‍රචණ්ඩත්වය වළක්වන, සමාජ ඒකාබද්ධතාවයට උපකාරී වන, සංවර්ධනයට, ගුණාත්මක අධ්‍යාපනයට, අන්තර්ගත දේශපාලනයට, සාමය ගොඩනැගීමට දායක වන කි‍්‍රයාකාරකම් සඳහා යොවුන් කි‍්‍රයාකාරීන්ට පහසුකම් සලසන්න. සාමකාමී සංස්කෘතිය, ඉවසීම, අන්තර් සංස්කෘතික සහ අන්තර් ආගමික සංවාදය ප‍්‍රවර්ධනය කරන්න. ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයාවන්, ත‍්‍රස්තවාදය, භීෂණය සහ සෑම ආකාරයකම වෙනස්කම් පිටුදකින්න.

හවුල්කාරිත්වය
සාම ප‍්‍රයත්නයන්හිදී යෞවනයින්ගේ අවශ්‍යතාවන් සහ සහභාගිත්වය සැලකිල්ලට ගන්න. දේශපාලනික, මුල්‍යමය, තාක්‍ෂණික සහ උපායමාර්ගික සහයෝගය වැඩි කරන්න.

නිදහස්කිරීම සහ ප‍්‍රතිසමෝධානය
නිරායුධකරණය, හමුදාවන් මුදාහැරීම සහ ප‍්‍රතිසමෝධානය දිරිගන්වන්න. අධ්‍යාපන හා පුහුණු අවස්ථා, රැකියා සමානාත්මතාව වර්ධනය කරන්න.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 2250 යෝජනාවේ සම්පූර්ණ පිටපත මෙතැනින් කියවන්න

  

Views:
862