ගර්භනී ගුරුවරියන්ට හඳුන්වා දුන් අලුත් ඇඳුමට බාධා

by Ajith
31-Jan-2019

ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල සේවය කරන ගර්භනී ගුරුවරියන් වෙනුවෙන් පහසු ඇඳුමක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගිය අවුරුද්දේ පියවර ගත්තා. එවැන්නක් සිදු කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ගුරුවරියන්ගේ පැත්තෙන් මෙන් ම වෛද්‍යවරුන්ගේ පැත්තෙන් ද ඉල්ලීමක් කෙරුණා. 

ගුරු වෘත්තිය යනු ශ්‍රී ලංකාවේ වැඩි ම කාන්තාවන් පිරිසක් සේවයේ යෙදී සිටින වෘත්තීන් අතරින් එකක්. ශ්‍රී ලංකාවේ පාසල්වල සේවය කරන 236,000ක් පමණ වන ගුරුවරුන් අතරින් 172,000ක් ම කාන්තාවන්. ඔවුන් අතරින් සෑම වසරක ම 10,000ක් පමණ දෙනා ගර්භනී නිවාඩු ලබාගන්නවා.

අධ්‍යාපන අමාත්‍යාංශය මෙම පියවර ගත්තේ ගර්භනී ගුරුවරියන්ට පාසල්වලදී සාරි, ඔසරි වැනි සංකීර්ණ ඇඳුම් ඇඳීමට සිදු වීම නිසා මුහුණ දීමට සිදු වන ශාරීරික, මානසික අපහසුතාත්, සෞඛ්‍ය ගැටලුත් සැලකිල්ලට ගනිමිනුයි.

එහෙත්, අවාසනාවට මෙන් ඇතැම් විදුහල්පතිවරුන් ගර්භනී ගුරුවරියන්ට පාසලේදී පහසු ඇඳුමක් ඇඳීමට ඉඩ නොදෙන බවට වාර්තා වන නිසා, ඒ වෙනුවෙන් පැමිණිලි භාරගැනීමට විශේෂ දුරකථන අංකයක් ද හඳුන්වා දීමට සිදු වී තිබෙනවා. ඒ 1988

ගර්භනී ගුරුවරියන්ට පාසලට යෝග්‍ය පහසු ඇඳුමක් ඇඳීමේ අවස්ථාව ලබා දෙන ලෙස දැනුම් දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයේ අංකය 2018/21 ය. 

කෙසේ වෙතත්, පාසල් ආශ්‍රයෙන් අප විසින් කරන ලද අධ්‍යයනයක් මගින් පෙන්නුම් කරනු ලැබුවේ පාසල්වල ගතානුගතික සංස්කෘතික පරිසරය හේතුවෙන් ගුරුවරියන් තවමත් ගර්භනී සමයට යෝග්‍ය ඇඳුමක් ඇඳීමට පසුබට වන බවයි. 

Views:
808