අපේ රටේ ජනගහණයට තවත් ලක්ෂ 50ක පිරිසක් එකතු වූ විට කොහොම තත්වයක් ඇති වේවි ද?

by iVoice Staff
29-Dec-2016

වසර 2016 දෙසැම්බරයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව ලක්ෂ හතක් පමණ වේ. වසර 2015දී සිසුන් 664,537ක් සහ වසර 2014දී සිසුන්  570,409ක් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිය හ.

මේ සංඛ්‍යාතිය වැදගත් ප්‍ර‍වණතාවක් පෙන්නුම් කරනවා. අපේ ජනගහණය වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා ද? ලංකාවේ ජනගහණ වර්ධන වේගය කොපමණ ද?

1981-2012 කාලපරිච්ඡේදයේදී ශ්‍රී ලංකාවේ ජනගහණ වර්ධන වේගය 2012 ජන හා නිවාස සංගණනය අනුව වාර්තා වන්නේ 1.1%ක් ලෙසයි. මේ වන විට එය තවත් පහළ බැස ඇති බව පෙනේ.

පළමු ජන සංගණනය පැවැත්වුණු 1871 හා 1881 කාල පරිච්ඡේදය තුළ ද ශ්‍රී ලංකාවේ ජනගහණ වර්ධනය පැවතියේ 1.4%ක මට්ටමේ ය. ශ්‍රී ලංකාවේ උපරිම ජනගහණ වර්ධන වේගයක් දකින්නට ලැබෙන්නේ 1946-53 කාල පරිච්ඡේදයේදී ය. මැලේරියාව සාර්ථක ලෙස මැඩලීමට සමත් වීමත් සමග ම මරණ අනුපාතිකය අඩු වූ නිසා මෙම වකවානුවේදී ජනගහණ වර්ධන වේගය 2.8%ක් දක්වා ඉහළ ගියේ ය. 1953 සිට ජනගහණ වර්ධන වේගය අඩු වෙමින් පවතී. 1960 සිට උපත් අනුපාතිකය අඩු වෙමින් තිබේ.

එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් පළ කරන ලද 20.4 Million නම් කෘතිය අනුව 1871-1925 අතර වසර 54ක කාලය තුළ ලංකාවේ ජනගහණය මිලියන 2.4 සිට මිලියන 4.8 දක්වා දෙගුණ විය. වසර 35කට පසුව 1960දී එය මිලියන 9.6ක් ලෙස දෙගුණ විය. තවත් වසර 44කින් 2004දී එය දෙගුණ වී ජනගහණය මිලියන 19.2ක් විය.

ශ්‍රී ලංකා ප්‍ර‍තිපත්ති අධ්‍යයනය ආයතනය වෙනුවෙන් මහාචාර්ය ඉන්ද්‍ර‍ලාල් ද සිල්වා විසින් කරන ලද Population Projections for Sri Lanka, 1991-2041 වාර්තාවේ දැක්වෙන අනාගත ප්‍ර‍ක්ෂේපණයට අනුව මෙම ජනගහණය නැවත දෙගුණ වන්නේ නැත.

එහි දැක්වෙන ආකාරයට ශ්‍රී ලංකා ජනගහණයේ සාඵල්‍යතාව (වර්ගයා බිහි කිරීමේ ස්වාභාවික හැකියාව), මරණ අනුපාතික හා සංක්‍ර‍මණ සාධක කැපී පෙනෙන අන්දමින් වෙනස් වී තිබේ. 1871දී මිලියන 2.4ක් වූ ලංකාවේ ජනගහණය මේ වන විට අටගුණයකින් වැඩි වී තිබේ. ප්‍ර‍මිතිගත ප්‍ර‍ක්ෂේපණ අනුව ශ්‍රී ලංකාවේ ජනගහණය 2031දී මිලියන 21.1ක උපරිමයට ළඟා වනු ඇත. 2021 සිට 2036 දක්වා සමයෙහි ජනගහණ වර්ධන වේගය 0ට ආසන්න අගයක පවතිනු ඇත. 2041න් පසු සාඵල්‍යතාවේ කැපී පෙනෙන පහළ මට්ටම හේතුවෙන් සමස්ත ජනගහණය පහත වැටෙන්නට පටන් ගනු ඇත.

එහෙත්, 2016 දෙසැම්බර් 9දා, එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ අනුග්‍ර‍හයෙන් කොළඹදී පැවැත්වුණු පරම්පරාන්තර සංවාදයේදී මහාචාර්ය ඉන්ද්‍ර‍ලාල් ද සිල්වා වෙනස් අදහසක් ඉදිරිපත් කළේ ය. “අප කලින් උපකල්පනය කළේ ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියන 22ක පමණ උපරිමයකට ළඟා වනු ඇති බවයි. එහෙත්, දැන් අප උපකල්පනය කරන පරිදි  ශ්‍රී ලංකාවේ ජනගහණය 2040 දශකයේදී මිලියන 25ක උපරිමයක් දක්වා වර්ධනය වෙනවා.”

මෙහිදී සමස්ත සාඵල්‍යතා අනුපාතිකය ඉතා වැදගත්. සමස්ත සාඵල්‍යතා අනුපාතිකය පැතිකඩ ගණනාවක් ඔස්සේ ගණනය කරනු ලබන අනුපාතිකයකි. සරළව කිවහොත්, එය වනාහි ප්‍ර‍ජනක අවධිය තුළදී සාමාන්‍යයෙන් කාන්තාවකට ලැබෙන සජීවී දරුවන් සංඛ්‍යාවයි. වසර 1950 හා 1960 දශකවලදී ශ්‍රී ලංකාවේ සමස්ත සාඵල්‍යතා අනුපාතිකය 5.3ක් විය. එයින් අදහස් වන්නේ සාමාන්‍යයෙන් කාන්තාවක් දරුවන් පහත්, හයත් අතර සංඛ්‍යාවක් ජනිත කළ බවයි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ එච්. ආර්. ගුණසේකර පසුගිය වසරේ අප සමග කළ අදහස් දැක්වීමකදී පැවසුවේ මෙසේයි: “1995 – 2000 කාලයේදී අඛණ්ඩව සිදු වූ උපත් සංඛ්‍යාවේ පහත වැටීමත් සමග වසර 2000දී ජනගහණය තිබෙන ප්‍ර‍මාණයට පවත්වාගෙන යාමට ප්‍ර‍මාණවත් ප්‍ර‍ත්‍යාදේශන සාඵල්‍යතාවක් (replacement level fertility) ඇති විය. සමස්ත සාඵල්‍යතා අනුපාතිකයේ ඉහළ යාමක් පසුගිය සමයේ ඇති විය. එය තාවකාලික ලක්ෂණයක් විය හැකි ය. ඒ පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කළ යුතු ය. අවසානයේදී සමස්ත සාඵල්‍යතා අනුපාතිකය පහත වැටී ප්‍රත්‍යාදේශන මට්ටමට ළඟා වනු ඇත.”

2011 වසරේ ශ්‍රී ලංකාවේ සමස්ත සාඵල්‍යතා අනුපාතිකය 2.4ක් විය. එනම්, ශ්‍රී ලංකාවේ කාන්තාවක් සාමාන්‍යයෙන් දරුවන් දෙකත් තුනත් අතර සංඛ්‍යාවක් බිහි කරන බවයි. බොහෝ රටවල ප්‍ර‍ත්‍යාදේශන සාඵල්‍යතා මට්ටම 2.1ක් පමණ වේ.

මහාචාර්ය ඉන්ද්‍ර‍ලාල් ද සිල්වා පෙන්වා දුන් කරුණක් වන්නේ දකුණු ආසියාවේ සෙසු රටවලට කලින් ම ප්‍ර‍ත්‍යාදේශන සාඵල්‍යතා මට්ටමට ළඟා වූ ශ්‍රී ලංකාව මේ වන විට සමස්ත සාඵල්‍යතා අනුපාතිකය පැත්තෙන් බංග්ලාදේශයටත් වඩා පහළ මට්ටමක සිටින බවයි. ලොව සෙසු රටවල් සමග සන්සන්දනාත්මකව බැලූ විට මෙය අසාමාන්‍ය තත්වයක් බව මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා පෙන්වා දෙයි.

එසේ වූයේ ඇයි? ඒ පිළිබඳ සිතන්න.

එ් සමග ම මේ ගැනත් සිතිය යුතු ය. අපේ රටේ ජනගහණයට තවත් ලක්ෂ 50ක පිරිසක් එකතු වූ විට කොහොම තත්වයක් ඇති වේවි ද?

මහාචාර්ය ඉන්ද්‍ර‍ලාල් ද සිල්වා විසින් ලියන ලද නවතම Fertility and Nuptiality තේමාත්මක වාර්තාව මෙතැනින් කියවන්න .

(වමේ සිට) ආචාර්ය නිශා අරුණතිලක, ආචාර්ය ඒ.ජේ. සතරසිංහ, ඇලන් සිබිනල, මහාචාර්ය ඉන්ද්‍ර‍ලාල් ද සිල්වා, ආචාර්ය ඉරේෂා එම්. ලක්ෂ්මන්)

(මෙම ලිපිය මුලින් www.kiyanna.lk වෙබ් අඩවියේ පළ විය. එම වෙබ් අඩවියේ අන්තර්ගතය www.ivoice.lk වෙත මාරු කර ඇත.)

Views:
2229